Friday, October 1, 2010

මතවාද වලින් ඔබ්බට

ලංකාවේ මතවාදයක් යනු සියල්ල උඩින් ගෙනවිත් අත හරින ඒවාය. ඒවා ආනයනය නොකළ විට ලංකාවේ දේශපාලන විල සිඳී යයි. මෙම සිඳීයාමේ ඛේදවාචකය තුළ පෙනහැලිත් ඇති, කරමළුත් ඇති මාළුවෝ පමණක් ජීවත් වෙති.. මොවුන් කරන්නේ කෙසෙ‍් හෝ ජීවත්වීම පමණි. සුනිල විලක් බවට ලංකාවේ දේශපාලනික විල පත් කරන්නට මේ මාලුවන්ට බැරිය.

ඒ සදහා මිනිස් මැදිහත්වීම් අවශ්‍ය වේ. මිනිස් යනු නිර්මානශීලිත්වයට තවත් නමකි. නිර්+මාන යනු මානයක් නැති යන අරුත් ගනී. මෙහි මාන යනු ආඩම්බරකම යන්නට තවත් වදනකි. ආඩම්බරකම ඇති කරගන්නේ නැති දේවල් වලට මිස ඇති දේවල් වලට නොවේ. කුරුටුගාමී පක්ෂයව සිටින එක්ස් සහ තවත් කණ්ඩායම් ආඩම්බරකාරී විදියට (හීනමානයකි) ආනයනික මතවාද වලින් දමා ගසා තුවාල වූවෝද බොහොමයක් පසුගිය කල විය. මේ තුවාල හොඳ වූයේ ද නැත. පහරදුන්නෝ අත ඇති ආයුධ වලට පතරොම් ආනයනය කරගත නොහැකිය එම ආයුධ වලින් මිනිසුන් බෑම කර බොහෝ දෙනා තවත් දෙනා අන්දමින් වසති. ආනයනික යුරෝපා මාක්ස්වාදය නිදහස් පක්ෂයේ එල්ලී ඇතුලටම ගොස් අවසන්ව ඇත. ආනයනික සෝවියට් මාක්ස් ලෙනින්වාදය ගම් කෙළවරට ගොස් නගර වල ලුම්පන් පන්තිය අභිබවා ගොස් දැන් මහින්දගේ ඔඩොක්කුවේ ද සිට සමාජ රෝග වැළඳ මරණාසන්නව ඇත. ගොඩගත නොහැක.

නලින් ද සිල්වාගේ ආනයනික බදුදහමේ මතවාදය මිනිසුන් මරමින් එම ක්‍රමය තුල ඔවුන් ආගම භාවිතා කරමින් සිරකරුවන් කරමින් සිටියි. මෙය ද අතිශයින් භයානක ආනයනික මතවාදයකි. ආනයනික මතවාද වලින් ලංකාව මෙසේ විනාශ වී ඇත්තේ කුමක් නිසාද? ලංකාවේ පළමු ආනයනික මතවාදය වන බුදුදහම ගනිමු.. ලංකාවේ මේ වන විටද කිසිදු ආකාරයේ සාර්ථක ශිෂ්ඨාචාරගතවීමකට ඉඩ නොතබමින් එය මිනිසුන් බාගෙට ලෙඩ කරවමින් සිටී.

යටත්විජිත සමයේ ගෙනා ආනයනික ව්‍යුහයන් නිසා කිසිදු වෙනසක් සිදු නොවී තවමත් ජනතාව පීඩාවට පත් කරවමින් සිටී. වැරැද්ද ඇත්තේ කොතනද? රෝහණ විජේවීර රුසියාවෙන් එලවීමේ කොමියුනිස්ට් පක්ෂ තරහව පිරිම්‍මැසීමට ගොඩනැගූ ජවිපෙන් ද, වෙනස් යමක් කර විජ්ජා පෙන්වීමට සම සමාජ කාරයින් ගෙනා සම සමාජයෙන්ද, පළක් වී නැත. ධනේෂ්වර ක්‍රමය ගෙන ආ සහ විවෘත ආර්තිකය ගෙනා ආ පාදඩ පිරිස් වලට ද උවමනාව තිබුනේ සූරාකෑම පමණි.

යම් මතවාදයක් ආනයනය වූවාට කම් නැත. එය රටට ගැලපෙන ලෙස සකස් විය යුතු වේ. උදාහරණ දෙන්නෝ බුදු දහම එසේ වූවා යැයි කියත් නම් එය එසේ නොවේ. බුදු දහම තරම් ලංකාවේ සමාජ ප්‍රගමණයට වින කටින කිසිවක් නැත. රටට ගැලපෙන ලෙස සකස් නොවීමේ ඛේදවාචකය කුමක්ද? ඉතා...ම සරල දෙය නම් පොදු ජනතාවට අනවශ්‍ය වීමයි. ඉන් එහාට දෙයක් නැත.

පොඩි දරුවන්ට බෙහෛත් පොවන්නා සේ ඇතම් මතවාදයන් දිය යුතු වුවත් ඒ බෙහෙත්පමණි. කෑම දිගටම කවන්නට නොහැකිය. පොදු ජන අවශ්‍යතා වෙනුවෙන් මේ එකදු මතවාදයක් හෝ පෙනී සිටියේ නැත. අසූ වසරක වාමාංශික කුඩුකේඩුකම්, තිස් වසරක ග්‍රාම්‍ය ජවිපෙ මෝඩකම් වලටත් වඩා දැන් හිස ඔසවා ඇති වර්ගෝත්තමවාදී වැඩවසම් සිංහල බෞද්ධ මතවාදයන් කිසිවක් පොදුජනතාව නියෝජනය කළේ නැත.

ඔවුන් පොදු ජනතාවවට මල් වට්ටිය අත ගැස්සුවා පමණි. පොදු ජනතාව දන්නා පිංකමක් හෝ බුදුන් වැදීමක් නැත. පොදු ජන ඓන්ද්‍රිය දේශපාලිනක මතවාදයක් ගොඩ නගන්නේ කෙසේද කියා අදහසක් නොවිනි. අවසාන හොරකම් කළ ජනාධිපතිවරණයේදී මෙම භාවිතයන් සිය්ල වෙනස්ව මෙතෙක් කල් සමාජයේ සංස්කෘතික දෙයක්ව තිබුණු "කළගුණ සැලකීම " පවා මතවාදයක්ව විසිරුනි. එය ජනතාවගෙන් ගෙන ජනතාවට දමා ගසන ලදී.
මේ සියළු උත්සාහයන් හිඟන මධ්‍යම පාන්තික උත්සාහයන් පමණි. මේ කිසිවක් දේශපාලනික උත්සාහයන් නොවේ.. දේශපාලනික උත්සාහයන් සදහා සැබෑ පොදු මිනිසුන් කියවිය යුතුවේ. මේ බිමේ ඇවිදින, කරක් ගහන මිනිසුන්ගේ හෘදය එලියට ගත යුතු වේ. මේ සදහා වන දේශපාලනික ප්‍රවේශයන් අවශ්‍යව තිබේ.

ජනතාව තේරුම් ගැනීම මතවාද වලට වඩා වටින්නේ ඒ නිසාය. තේරුම් ගන්නා ඩලස් ලා විමල් ලා කරන්නේ නැවතත් ඔවුන් ඇන්දවීමයි. ඇන්දවීමෙන් ඔබ්බට මිනිසුන් වෙනස් වන දේශපාලනයක් සදහා වන රට කියවීම අත්‍යවශ්‍යව ඇත.

-විශ්ව උයන්ගොඩ-

1 comment: